ශ්‍රී ලංකා විවාහ නීතිය
විවාහය වූ කලී මනුෂ්‍ය වර්ගයා අතර ඇතිවන අනෝන්‍ය සම්බන්ධතාවය මත ඇතිවන වැදගත් ආයතනකි. ස්ත්‍රියක් හා පුරුෂයෙක් පවුලක් වශයෙන් ජීවිත කාලය පුරාම එකට ජීවත් වීමේ පරමාර්ථය ඇතිව ස්ව කැමැත්තෙන් මෙම විවාහය නම් වූ ආයතනය ගොඩනගා ගනී. හුදෙක් ස්ත්‍රියක් හා පුරුෂයෙක් එකට ජීවත් වීම තුලින්ම විවාහයක් බිහි නොවන්නේ පුද්ගල ජීවිතය පුරා බලපාන නෛතික අයිතිවාසිකම් රැසක් එයින් බිහිවන නිසාත් නීතිය පිළිගන්නා පරිදි එය සිදුවිය යුතු නිසාත්ය.
එම නෛතික අයිතිවාසිකම් ලෙස එකිනෙකා අතර ඔවුන්ගේ පෞද්ගලික දේපල, ලිංගිකත්වය හා අන්‍යෝන්‍ය අනන්‍යතාවයන් හා අයිතිවාසිකම් තීරණගැනීම් ආදිය පොදුවේ තබාගැනීමේ අයිතිය හා දරුවන් සඳහා උරුමකම් නිතැතින් ලබාදීම නීත්‍යානුකූල වේ. එක් අයකුගේ මරනින් පසු ඒ අයගේ නිශ්චල හා චංචල දේපල වලින් අඩක් සඳහා උරුමය අනෙකා වෙත ලැබේ. වියපත්වීම හෝ පසුව ඇතිවන රෝගාබාධ බෙලහීන තත්වයක් මත අනෙකා පෝෂනය නොකිරීම නීත්‍යානුකූල නොවන්නේය. තවද අනෙකාගේ අවසරයකින් තොරව අත්‍යවශ්‍ය නොවන ශල්‍යකර්මයකට බඳුන්වීම,දේපල විකිනීම, යම් වෘත්තියක නිරතවීම, වෙනත් අයකු හා ලිංගික කාර්ය්යයක නිරතවීම, ලියාපදිංචි නිවසින් පිටත වෙනත් තැනක නේවාසික වීම, ද්වේශ සහගතලෙස අනෙකා පෝෂනය ප්‍රතික්ෂේප කිරීම හෝ විදේශගතවීම අතිශයින්ම තහනම් වන අතර නීතියෙන් දඬුවම් ලැබියහැකිවේ.
වලංගු විවාහයක් ඇතිවීම සඳහා
- ස්වෙඡ්ඡාවෙන් ඇති විය යුතුය.
- ජීවිත කාලය පුරාම පවුල් ජීවිතයක් ගත කිරීමේ පරමාර්ථයෙන් ඇතිකර ගත යුතුය.
- විරුද්ධ ලිංගිකයන් අතර පමණක් ඇතිවිය යුතුය.
- එක් භාර්යාවක් හා එක් පුරුෂයෙක් අතර පමණක් ඇති විය යුතුය (මෙය සෑම නීති පද්ධතියක් යටතේම අනිවාර්ය නොවේ).
සාමාන්‍ය නීතිය යටතේ විවාහය
මේ සඳහා බලපවත්වන්නේ 1907 අංක 17 දරණ සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතයි.
සාමාන්‍ය නීතිය බලපාන්නේ කාටද?
- පහතරට සිංහලයන්ට
- ස්ව කැමැත්ත මත උඩරැටියන්ට
- තේසවලාමේ නීතිය යටතේ ද්‍රවිඩයන්ට
- ස්ව කැමැත්ත මත මුස්ලිම් ජාතිකයන්ට
සාමාන්‍ය නීතිය විවාහය වලංගු වීමට නම්
- අවම වයස් සීමාව.
- තහනම් ඥාති සබඳතා නොපැවතීම.
- වලංගු පෙර විවාහයක් නොපැවතීම.
අවම වයස් සීමාව
සාමාන්‍ය විවාහ ආඥා පනතේ 15 වගන්තියේ දැක්වෙන ආකාරයට වලංගු විවාහයක් ඇතිකර ගැනීම සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් වයස අවුරුදු 12 හා පුරුෂයන් වයස අවුරුදු 16 ක් වේ. බර්ගර් දෙමාපියන්ගෙන් පැවතෙන්නන් සඳහා අවම වයස් සීමාව ලෙස ස්ත්‍රීන් හා පුරුෂයන් අවම වයස අවුරුදු 14 ක් වේ. නමුත් 1995 අංක 18 දරණ සංශෝධන පනතින් ස්ත්‍රීන් හා පුරුෂයන් යන දෙපාර්ශවටම අවම වයස අවුරුදු 18 ක් බවට පත් කරන ලදී. ඒ අනුව මෙම නෛතික අවශ්‍යතාවයට පටහැනි විවාහ (බාල වයස්කාර විවාහ) විවාහ නොවන බවට අධිකරණය පිළිගනී.
"විවාහයක පාර්ශවකරුවන් දෙදෙනාම වයස අවුරුදු 18 සම්පූර්ණ කර ඇත්නම් මිස, මේ වගන්තිය (එනම් මුල් ප්රඥප්තියේ 15 වන වගන්තිය) බලාත්මකව ආරම්භ වීමෙන් පසු සිදු කරන ලද කිසිම විවාහයක් වලංගු නොවිය යුතුය"
තහනම් ඥාති සබඳතා නොපැවතීම
ඕනෑම ශිෂ්ට සම්පන්න සමාජයක ලේ ඥාතීන් අතර සිදුවන විවාහ නොපිළිගනී. සාමාන්‍ය විවාහ ආඥා පනතේ 16 වන වගන්තිය මගින් ලේ ඥාතීන් අතර සිදුවන විවාහ වලංගු විවාහ නොවන බව දක්වයි. පනතේ 17 වන වගන්තිය අනුව තහනම් ඥාති සබඳතා මත විවාහ සිදු කිරීම දඬුවම් ලැබිය හැකි වරදකි.
තහනම් ඥාති සබඳතා
- මව-පුතා
- පියා-දියණිය
- සහෝදර-සහෝදරිය
- මාමා-ලේලි
- ආච්චි-මුණුපුරා
- සීයා-මිණිබිරී
- විවාහයෙන් පසුව කලත්‍රයන්ගේ දියණිවරු හා පුතුන් අතර
වලංගු පෙර විවාහයක් නොපැවතීම
නීත්‍යනුකූලව වලංගු ව පවතින පෙර විවාහයක් අවලංගු කර නොගෙන සිදුකරන දෙවන විවාහයක් වලංගු නොවන බව නීතිය පිළිගනී.සාමාන්‍ය විවාහ හා දික්කසාද ආඥා පනතේ 18 වගන්තියේ මේ බව දක්වයි.
ඉහත කරුණු වලට අමතරව දෙපාර්ශවයේම කැමැත්ත අවශ්‍ය වේ.ඉහත අවශ්‍යතා සපුරාලන අයෙකුට නීතිය පිළිගන්නා වලංගු විවාහයක් සිදුකර ගත හැකිය.
සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් සිදු කිරීම
සාමාන්‍ය නීතිය යටතේ විවාහයක් ලියාපදිංචි කිරීම මගින් හෝ චාරිත්‍රානුකූලව සිදුකළ හැකිය.විවාහයක් ලියාපදිංචි කිරීම විවාහ රෙජිස්ටාර්වරයා හෝ ක්‍රිස්තියානි පූජකවරයා විසින් සිදුකරනු ලබයි.
විවාහ ලියාපදිංචි කිරීමේ කාර්යය පටිපාටිය
(ලියාපදිංචිය සිදු කරන්නේ විවාහ රෙජිස්ටාර් වරයාද ක්‍රිස්තියානි පූජක වරයාද යන්න මත අනුගමනය කරන කාර්යය පටිපාටිය වෙනස් වේ.)
- විවාහ ලියාපදිංචි වීම සඳහා දින 10 කට පෙර ඒ පිළිබඳව ප්‍රදේශයේ විවාහ ලේකම් වරයාට දැනුම් දිය යුතුය
- එම දැනුම් දීමෙන් පසුව අදාල සහතික විවාහ ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශනය කළ යුතුය.
- නියමිත කාලසීමාව අවසානයේදී විවාහ ලේකම් වරයාගේ සහතිකය නිකුත් කරනු ලැබේ.එසේ නිකුත් කරනු ලබන්නේ ඒ සඳහා විරුද්ධත්වයක් වේනම් එය අධිකරණය වෙත යොමුකළ යුතුය.එහිදී සහතිකය නිකුත් කිරීම අධිකරණය තීරණය කරයි
- විවාහය විවාහ ලේකම්ගේ කාර්යාලයේදී සිදුකරනු ලබන්නේනම් එහදී සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඉදිරියේ සිදුකළ යුතුය
- පූජක වරයකු ඉදිරියේ සිදුකරනු ලබන විවාහද චාරිත්‍ර අනුගමනය කර සාක්ෂිකරුවන් ඉදිරියේ සිදුකල යුතුය .